කණ්ඩායම් 3ක් හෝ වැඩිගණනක් සහභාගී වන තරඟාවලියක ලකුණු සටහනේ එකේ දළ ලකුණු වේගය ගණනය කරන විදිය කලින් ලිපියකින් දැන ගත්තනේ . නමුත් ප්රසාද ලකුණු (bonus point) ගණනය කරන විදිහත් ගොඩක් දෙනෙක් දන්නෙ නෑ. ප්රසාද ලකුණු ගණනයත් දල ලකුණු වේගය ගණනය වගේම බොහොම ලේසියෙන් කරගන්න පුළුවන්.
1. පළමු පියවර - පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වේගය ( run rate ) ලබා ගන්න.
ලකුණු ලබා ගැනීමේ වේගය = ලබා ගත් ලකුණු ගණන / මුහුණ දුන් පන්දු වාර ගණන
මෙතැනදී ලබා ගත් ලකුණු ගණන විදිහට ගණනය කරන්නේ දළ ලකුණු වේගය ගණනයේදී වගේ තරඟ කිහිපයකදී ලබා ගත් මුළු ලකුණු ගණන නෙමෙයි . එක් එක් තරඟය සඳහා වෙන වෙනම ලකුණු ලබා ගැනීමේ වේගයන් ගණනය කරන්න ඕන.
මුහුණ දුන් පන්දු වාර ගණන ගණනය කිරීමත් ඒ වගේමයි.
උදා: මුලින් පන්දුවට පහර දෙන කණ්ඩායම ( A කණ්ඩායම කියමුකෝ )පන්දු වාර 50කදී ලකුණු 275ක්
ලබා ගන්නවා
ලකුණු ලබා ගැනීමේ වේගය = ලබා ගත් ලකුණු ගණන / මුහුණ දුන් පන්දු වාර ගණන
A කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වේගය = 275 / 50 = 5.5
සැ. යු : කණ්ඩායමක් පන්දු වාර 50 ඉවර වෙන්න කලින් සියල්ලන්ම දැවී ගියොත් ඒ කණ්ඩායම පන්දු වාර 50 ම සෙල්ලම් කරා කියලා ගනන් ගන්නවා.
වැස්ස වගේ හේතු නිසා ඩක්වර්ත් & ලුවිස් වලට අනුව ඕවර ගාන අඩු උනොත්, සංශෝධිත ඕවර් ගාන් මුලු ඕවර ගාන විදියට ගනන් ගන්නවා .
දළ ලකුණු වේගය නම් තරඟය සම්පුර්ණයෙන් ඉවර උනාට පස්සේ තමයි ගණනය කරන්නේ. ප්‍රසාද ලකුණු එහෙම නැහැ.
ප්‍රසාද ලකුණක් ලැබෙන්නේ කණ්ඩායම් දෙකේ ලකුණු ලබා ගැනීමේ වේගයන් වල අනුපාතය 1.25ට හෝ ඊට වැඩි වුනාමයි .
ප්‍රසාද ලකුණක් එක්ක තරඟය දිනන්න ඕනෑම කණ්ඩායමක් කැමතියි නේ. ඒක නිසා එක කණ්ඩායමක් පන්දුවට පහර දී අවසන් උනාට පසුව ප්‍රසාද ලකුණක් එක්ක තරඟය දිනන්න ප්‍රතිවාදී කණ්ඩායම් විසින් සපුරාලිය යුතු අවශ්‍යතා කොටසක් තියෙනවා.
ඒක මම මෙහෙම පැහැදිලි කරලා දෙන්නම් .
A කණ්ඩායම ප්‍රසාද ලකුණක් ලබා ගැනීමට නම් B කණ්ඩායම යම් කිසි ලකුණු ගණනකට හෝ ඊට අඩු ලකුණු ගණනකට දවා ගන්න ඕන .
B කණ්ඩායම ප්‍රසාද ලකුණක් ලබා ගැනීමට නම් A කණ්ඩයමේ ලකුණු ගණන යම් කිසි පන්දු වාර ගණනකදී හෝ ඊට වඩා අඩු ගණනකදී හඹා යන්න ඕන .
ඒක ගණනය කරන්නේ මෙහෙමයි.
2. දෙවන පියවර - මම මුලින් සඳහන් කළ විදිහට ප්‍රසාද ලකුණක් ලැබෙන්නේ කණ්ඩායම් දෙකේ ලකුණු ලබා ගැනීමේ වේගයන් වල අනුපාතය 1.25ට හෝ ඊට වැඩි වුනාමයි.
A කණ්ඩායම ප්‍රසාද ලකුණක් ලබා ගැනීමට නම් ;
A කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය / B කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය = 1.25
එම නිසා ;
B කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය = A කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය / 1.25
B කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය විය යුත්තේ = 5.5 / 1.25 = 4.4
B කණ්ඩායම සඳහා ඇති පන්දු වාර ගණන = 50
එම නිසා B කණ්ඩායම දවාලිය යුතු ලකුණු ගණන = 4.4 * 50 = 220
A කණ්ඩායම විසින් B කණ්ඩායම ලකුණු 220කට හෝ ඊට අඩු ලකුණු ගණනකට දවා ගත්තොත් A කණ්ඩායමට ප්‍රසාද ලකුණක් ලැබෙනවා .
B කණ්ඩායම ප්‍රසාද ලකුණක් ලබා ගැනීමට නම් ;
B කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය / A කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය = 1.25
එම නිසා ;
B කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය = 1.25 * A කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය
B කණ්ඩායම A කණ්ඩායමේ ලකුණු හඹා යා යුතු වේගය විය යුත්තේ = 1.25 * 5.5 = 6.875
B කණ්ඩායම ලබා ගත යුතු ලකුණු ගණන = 276
ඒ සඳහා වැය කල හැකි පන්දු වාර ගණන = 276 / 6 .875 = 40.145 = එනම් පන්දු වාර 40 යි එක් පන්දුවකි
B කණ්ඩායම A කණ්ඩායමේ ලකුණු 276 පන්දු වාර 40යි එක් පන්දුවක් ඇතුළත හඹා ගියොත් B කණ්ඩායමට ප්‍රසාද ලකුණක් ලැබෙනවා .
සාරාංශය
උදා : A කණ්ඩායම පන්දු වාර 50කදී 275 යි
* B කණ්ඩායම පන්දු වාර 50කදී 215 යි . A ප්රසාද ලකුණක් සමග තරඟය ජයග්රහණය කරනවා.
* B කණ්ඩායම පන්දු වාර 50කදී 265 යි . A ප්රසාද ලකුණක් නොමැතිව තරඟය ජයග්රහණය කරනවා.
* B කණ්ඩායම පන්දු වාර 38යි පන්දු 5කදී 276 යි . B ප්රසාද ලකුණක් සමග තරඟය ජයග්රහණය කරනවා.
* B කණ්ඩායම 45යි පන්දු 2කදී 276 යි. B ප්රසාද ලකුණක් නොමැතිව තරඟය ජයග්රහණය කරනවා
0 comments:
Post a Comment